Saturday, March 1, 2014

ගෝඨාගේ 'වැඩේ' කැතයි - ඇමතිවරු කියති

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ මැතිවරණ රැස්වීම්වලට සහභාගී වීම 'වාමාංශික' ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම දැඩි විවේචනයට ලක්ව ඇත.

බස්නාහිර පළාත් සභාවට සන්ධානය යටතේ කොළඹින් තරග වැද සිටින කණ්ඩායමේ නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා සහභාගිවිම මේ වනවිට විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ද විරෝධයට ලක්ව ඇත.
'රාවය' පුවත්පත ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී, අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසා ඇත්තේ, ආරක්ෂක ලේකම්ගේ එම ක්‍රියාව ඉතාම වැරදි ක්‍රියාවක්  බවයි.
''රජයේ සේවකයින්ට මේ විදියට දේශපාලනය කරන්න බැහැ. ඔහු එම අමාත්‍යංශයේ ප්‍රධාන නිලධාරියා විදියට දේශපාලනය කරන්නේ කෙසේද ?'' ගුණසේකර ඇමතිවරයා විමසයි.
මෙහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ, විධායක බලය ක්‍රියාත්මක කරන අමාත්‍යංශ ලේකම්වරයකු මැතිවරණ ව්‍යාපාරයකට එක්වන විට මුළු ජන්ද ව්‍යාපාරයම දුෂණයට ලක්වන බවයි.
විධායක බලය උපයෝගී කරගෙන අනිසි ලෙස ජනතාව බිය ගන්වා සිය අභිමතාර්ථ ජන්ද බලයෙන් ලබා ගැනීමට මේ  හරහා අවස්ථාව උදාවන බව වාසුදේව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
එහෙත් අමාත්‍ය තිස්ස විතාරණ මහතා මේ සිද්ධිය ගැන කිසිවක් කීමට තමාට බැරි බව 'රාවය' පුවත්පතට පවසා ඇත.

No comments:

Post a Comment