Friday, March 21, 2014

විදේශීය විමර්ශකයින් කැඳවීමට හිටපු අගවිනිසුරුවරියට අවසර

Shiraniතමන්ට එරෙහි පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විදේශීය විමර්ශකයින් ගෙන්වා ගැනීමට අල්ලස් කොමිසම ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙන බවට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා කළාය.
වත්කම් බැරකම් නිසි පරිදි හෙළි නොකළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී ඇය සිය නීතිවේදීන් මගින් මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.
විත්තියේ නීතිවේදීන් අධිකරණයට කියා සිටියේ, මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර ඇති ජාතික සංවර්ධන බැංකුවේ පරිගණකවල අඩංගු දත්ත පරික්ෂා කිරීම සඳහා අධිකරණය මගින් දින හතරක කාලයක් ලබා දුන් බවයි.
ඒ අනුව අදාළ පරිගණක යන්ත්‍රවල අඩංගු දත්ත පසුගිය 16 සග 17 යන දිනවල පරීක්ෂා කරන මෙන් අල්ලස් කොමිසම දැනුම් දුන් බව පවසන විත්තියේ නීතිවේදියෝ, මෙම පරීක්ෂණය සදහා විදේශීය විමර්ශකයින් ගෙන්වා ගැනීමට නියමිත නිසා එම කාලය ප්‍රමාණවත් නොවන බව කියා සිටියහ.
දේශීය විමර්ශකයින්
මෙහිදී මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විමසා සිටියේ මෙම පරීක්ෂණයේ විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා දේශීය විමර්ශකයින් සොයාගත නොහැකිද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් විත්තියේ නීතිවේදියා කියා සිටියේ දේශීය වශයෙන් විමර්ශකයින් සොයාගත හැකි වුණත් ඔවුන් බලපෑම්වලට නතුවීමට ඉඩකඩ පවතින බැවින් සාධාරණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අපහසු බවයි.
බැංකු රහස් කඩ කරමින් විත්තිකාරියගේ බැංකු ගිණුම් වල රහසිගත විස්තර රජයේ මාධ්‍ය සහ වෙබ් අඩවිවල පළවූයේ කෙසේද යන්න අනාවරණය කර ගැනීම සදහා මෙම පරීක්ෂණය විධිමත්ව පැවැත්වීම අවශ්‍ය බව, ඔහු අධිකරණයට දන්වා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ පරික්ෂණය පැවැත්වීම සඳහා අප්‍රේල් මස 30 වනදා දක්වා කල් ලබා දෙන මෙන් අල්ලස් කොමිසමට නියෝග කළේය.

No comments:

Post a Comment