Saturday, March 1, 2014

පිළිකා එන්නත් ටෙන්ඩරය කෝටි 30ක වැඩි මිලට

නියමිත මිලට වඩා රුපියල් කෝටි 30ක වැඩි මිලකට පිළිකා රෝගය සඳහා භාවිත කෙරෙන පැක්ලිඔල් ඖෂධ එන්නත මිලදී ගැනීමට ටෙන්ඩරයක් අනුමත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග අනාවරණය කරයි.

මෙම ටෙන්ඩරය අධික මිලකට ඉදිරිපත් වූ බැවින් එය අත්හිටුවන ලෙස මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබියදී එම ටෙන්ඩරය 24 දා අනුමත කර ඇති බවද පැවසේ.
අනුමත වූ ටෙන්ඩරයේ එක් ඖෂධ එන්නතක මිල රුපියල් 73,000ක් වන අතර එම ඖෂධය මෙරටට ආනයනය කරනු ලබන්නේ චීන සමාගමකිනි.එම ඖෂධය ඉන්දියානු සමාගමකින් ආනයනය කිරීම සඳහා එක් ඖෂධයක මිල ලෙස ඉදිරිපත් කර ඇත්තේ රුපියල් 38,000කි.
ඉදිරිපත් වූ ටෙන්ඩර් දෙකෙහිම ඖෂධ එකම ප්‍රමිතියකින් යුතු වුවත් අධික මිලකට ගෙන්වන ඖෂධ ටෙන්ඩරය අනුමත කිරීම මගින් රුපියල් කෝටි 30ක මුදලක් රජයට පාඩු වන බවත් ඉහත ආරංචිමාර්ග පෙන්වා දෙයි.
මේ වසර සඳහා මෙරටට ආනයනය කිරීමට නියමිත පැක්ලිඔල් නමැති පිළිකා ඖෂධ එන්නතෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 70ක් බවද පැවසේ.
අධික මිලකින් යුතු ටෙන්ඩරය අනුමත වීම සඳහා අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ නිලධාරියකුට රුපියල් මිලියන 15ක කොමිස් මුදලක් හිමි වන බවද අනාවරණය වේ.
මෙම ඖෂධ එන්නත පියයුරු පිළිකා හා පෙණහලු පිළිකා සඳහා භාවිත කෙරේ.
යාළුවන්ටත් ඇත්ත දැනගන්න share කරන්න.
(රිවිර)

No comments:

Post a Comment