Thursday, August 21, 2014

ලංකාවේ ප්‍රතිරූපේ හදන්න - කතා ලියන්න කෝටි ගණනක් වියදම් කල හැටි මෙන්න


ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා රුපියල් කෝටි 95 කට අධික මුදලක් වැය කර ඇත. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය අතර සබඳතා නැංවීම කරනු ලබන්නේ විදේශ අමාත්‍යාංශය මගිනි. 


ශ්‍රි ලංකාවේ
ප්‍රතිරූපය ආරක්ෂා කිරීම හා ප්‍රතිරූපය නංවීම සඳහාද කටයුතු කරනු ලබන්නේ විදේශ අමාත්‍යාංශය මගින් පත්කරනු ලබන නිලධාරීන් විසිනි.

එහෙත් රුපියල් කෝටි ගණනක වියදමින් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල පවත්වාගෙන යනු ලැබුවත් ඊට අමතරව රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා තවත් කෝටි 95 ක පමණ මුදලක් වැයකර ඇත.

අපේ රටේ විදේශ අමාත්‍යාංශයේ කටයුතු ගැන කිසිසේත්ම සතුටු විය නොහැකි තත්වයක් ඇතිවී තිබේ. පෞද්ගලික අමනාපකම්වලට දක්ෂ නිලධාරීන්ගෙන් පලිගැනීම් කරන අතර එයට හොඳම උදාහරණය වන්නේ නෝර්වේ තානාපති ලෙස කටයුතු කළ ජවාඩ් මහත් ශ්‍රී ලංකාවෙන් ගිය නියෝජිතයා පිළිගැනීමට ගුවන්තොටුපළට නොපැමිණි නිසා අවුරුදු 1 1/2 ක් ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට කොටු කර තබා ගැනීම වේ.

විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් පෞද්ගලික හේතු මත පලිගැනීම්වලට ලක්කරනු ලබයි. සුදුසුකම් හා දක්ෂකම් නොමැති නිලධාරීන් පත්කිරීමෙන් රටට යහපතක් නොවේ. ඒ නිසා රටේ ප්‍රතිරූපය නැංවීමට අමතරව කෝටි ගණනක මුදලක් වැයකිරීමට රජයට සිදුවී ඇත.

ඊජිප්තු තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි පළපුරුදු නිලධාරියෙකු වූ බී. කන්දීපන් මහත් හිටිහැටියේ කොළඹට කැඳවා විදේශ සේවා අමාත්‍යාංශයේ රඳවා ගෙන සිටී. රත්නසිරි පෙරේරා මහතා නිව්යෝක් තානාපති කාර්යාලයෙන් කොළඹට ගෙන්වාගෙන වසර දෙකකට වැඩි කාලයක් කිසිදු වගකීමක් පවරා නොමැත.

විදේශ සේවාව ගැන පළපුරුදු නිලධාරීන් කොළඹට ගෙන්වා ගෙන වීදි ගානේ, කාමර ගානේ ඇවිදින තත්වයට පත්කර ඇත. මේ දක්ෂ නිලධාරීන් සේවයේ යොදවා රටේ ප්‍රතිරූපය නැංවීමට කටයුතු කිරීමේ වගකීම පැවරිය හැකිය. එහෙත් දැන් කරන්නේ පළපුරුදු නිලධාරීන් බොහොමයක් දෙනා කොළඹට ගෙන්වා ගෙන ඒ ඇතැම් තනතුරුවරලට පළපුරුදු නොවන නිලධාරීන් පත්කිරීමයි. 

එසේ පළපුරුදු නොවන නිලධාරීන් රටේ ප්‍රතිරූපය නැංවීමට කි්‍රයානොකරන නිසා තවත් රුපියල් කෝටි ගණනක් වැයකර රටේ ප්‍රතිරූපය නැංවීමේ කටයුතු වෙනත් කොම්පැනිවලට ඒ කටයුත්ත බාරදීමට සිදුවී ඇත.

දැන් ශ්‍රී ලංකා රජය අලූත්ම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. උපදේශක ආයතනවල සහාය ලබාගැනීමට, මුදල් වැය කිරීම මේ අලූත්ම වැඩපිළිවෙලයි. අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයද උපදේශක සමාගම්වල සහාය ලබා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවද අමෙරිකාවෙන් උපදේශක සමාගම්වල සහාය ලබා ඇත.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී Beltway government strategies Inc නම්වූ සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට කිසිදු කරුණු දැක්වීමක් කර නැත.

මීට අමතරව Madison group LLC  නමැති ආයතනයටත් R and R partners ආයතනයටත් කෝටි ගණනක මුදල් ගෙවා ඇත. මේවා පිළිබඳව රජයේ පාර්ශවයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර නැත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුපියල් පනස්හත් ලක්ෂ දහනවදහස් හයසිය හැත්තෑ එකක මුදලක් එක් සමාගමකට ගෙවා ඇත. එම මුදල අමෙරිකානු ඩොලර් හතළිස්තුන් දහස් නවසිය අනූහතකි. අදක්ෂ, සුදුසුකම් නැති පුද්ගලයන් තානාපති සේවයට පත්කිරීමෙන් සිදුවී ඇති එක් පාඩුවක් ලෙස මෙය දැක්විය හැකියි.

මීට අමතරව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවත් සමාගම් තුනකට ලක්ෂ ගණනක මුදල් ගෙවා ඇත. සියලූ සමාගම්වලට ගෙවන ලද මුදල මෙතෙක් රජයෙන් අනාවරණය කර නැත.Bell pottinger  නම්වූ සමාගමක වෙබ් අඩවියක් සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන ලද කතාව ලියන ලද්දේ එම සමාගම මගිනි. මේ ආයතනයේ කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේ සේවය කර ඇති බවද එම වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවද විශාල මුදලක් ගෙවා උපදෙස් ලබාගෙන ඇත. Thompson Advisory Group TAG සමාගමක් සමගය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පුවත්පත්වලට ලියන ලද ලිපි දෙකක් මේ සමාගම මගින් ලියවා ගෙන ඇති බව වාර්තාවේ. ඩොලර් හයලක්ෂ අසූතුන් දහස් හයසිය තිස්පහක් ඒ සඳහා ගෙවා ඇතැයිද අනුර කුමාර දිසානායක මහතා කියයි.

ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් අටසිය අසූඅට ලක්ෂ හැත්තෑ දහස් පන්සිය දොළහකි. තමන්ගේ හිතුමතයට මුදල් වියදම් කිරීමට මහ බැංකුවට හැකියාවක් නැත. අඩුම වශයෙන් එවැන්නක් කළ යුත්තේ විදේශ අමාත්‍යාංශය දැනුවත්වය. නමුත් එවැන්නක් සිදුවී නැත.

රජය හෝ තානාපති කාර්යාලය හෝ මහ බැංකුව හෝ මේ වැයකර ඇත්තේ මේ රටේ මුදල්ය. ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කරන ඒවා නොවේ.

විදේශ කටයුතු සඳහා වැය කරන මුදල අතිමහත්ය. විදේශ තානාපති කාර්යාල පවත්වා ගෙනයාම ඒවායේ සේවකයන්ට පහසුකම් සැලසීම සඳහා වැය කරන මුදල ශ්‍රී ලංකා රජයෙන් ගෙවනු ලබයි.

එසේ කෝටි ගණනක මුදල් වැය කරන අතරතුරේදී රටේ ප්‍රතිරූපය නැංවීමට තවත් කෝටි ගණනක මුදලක් වැය කරයි. මේ විනාශ කරන්නේ රටේ ජනතාවගේ මුදල් බව අමතක නොකළ යුතුය. 

දයාසීලි ලියනගේ ලිපියක් ඇසුරිනි  

No comments:

Post a Comment