Friday, March 21, 2014

ජනපති ජනහමුවලට මං එකඟ නෑ

mahindha-deshapriyaමැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රදේශවල ජනතා ගැටලු විසඳීමට මැදිහත්වීම පිළිබඳව තමන් එකඟ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටී.
බස්නාහිර හා දකුණු පළාත් සභා
ඡන්ද සූදානම පිළිබඳව බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ,
‘ජනපති ජන හමුව’ නමින් පසුගිය හත්වනදා ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතා ගැටලු විසඳීමේ වැඩසටහනක් පැවැත්වීම ගැන තමන් එකග නොවන අතර ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි.

” මම ඒක බැලුවේ නැති නිසා මට සෘජුවම කියන්න බැහැ,යම් පාර්ශවයකට අගතියක් වුණාද, ප්‍රවර්ධනයක් වුණාද කියලා. නමුත් මම දන්නල තියෙනවා – අදාළ බලධාරීන්ට එවැනි දේවල් ඡන්ද විමසන දිස්ත්‍රික්කවල පැවැත්වීමට අපේ එකඟතාවයක් නැහැ කියලා, ඒක ඔවුන් පිළිඅරගෙන තිබෙනවා” යැයි බීබීසී සංදේශයේ අසාම් අමීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර පළ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

වර්තමානයේ ජන මාධ්‍ය දේශපාලන පක්ෂපාතීත්වය අනුව බෙදී ඇති හෙයින් ඒවා රජයේ හෝ පෞද්ගලික යැයි වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වී ඇති අතර රාජ්‍ය මාධ්‍ය පමණක් අනිවාර්යයෙන් පාලනය කළ යුතුය යන මතයෙන් බැහැර වී සියලු දේශපාලන පක්ෂවලට සම අවස්ථා ලබා දීමට කටයතු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය නාලිකා වලින් ඉල්ලීමක් ද කළේය.

එමෙන්ම මෙහිදී මැතිවරණයට තරග කරන අපේක්‍ෂක භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටින විහාරස්‌ථානවල කිසිවිටක ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කළ නොහැකි බව ද දේශප්‍රිය මහතා පැවැසීය.

ආගමික ස්‌ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම මැතිවරණ නීතියෙන්ම තහනම් වන අතර මෙවැනි පක්‍ෂ අපේක්‍ෂක හිමිවරුන් වැඩ සිටින විහාරස්‌ථානවල කාර්යාල පවත්වාගෙන යා හැකි නමුත් ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කළ නොහැකි බවත් ඒ පිළිබඳ සොයා බලන බවද දේශප්‍රිය මහතා කීය.

එමෙන්ම විහාරස්‌ථාන හෝ අන්‍ය ආගමික සිද්ධස්‌ථානවල මැතිවරණ ප්‍රචාරක පෝස්‌ටර්, කටවුට්‌ හා බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවද හෙතෙම කීය.

No comments:

Post a Comment