Thursday, December 19, 2013

නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් නි. ඇමැති පුංචිනිලමේ නිදහස්‌


1997 වසරේ පෙබරවාරි 11 වන දින කුරුවිටදී වෙඩි තබා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල මහතා සහ කොස්‌තාපල් ජයසේන නමැත්තා ඝාතනය කළේ යෑයි මිනීමැරුම් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා සියලු චෝදනා වලින්
නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඊයේ (18 දා) නියෝග කළේය.


1997 පෙබරවාරි 11 වැනි දින කුරුවිටදී නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයකු වී නාලන්ද එල්ලාවල මහතාට සහ කොස්‌තාපල් ජයසේන නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සහ කොස්‌තාපල් උපාලි සිරිසෝම, පතිරන්නැහැලාගේ දොන් ගුණසේන, ඩිලාන් පෙරේරා යන තැනැත්තන්ට වෙඩිතබා තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 11 ක්‌ මත සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙක්‌ රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියහ.



ඉකුත් නොවැම්බර් මස 12 වැනි දින නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජීව දිසානායක මහතා අධිකරණය අමතමින් නඩුවේ 3, 4, 5 වැනි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි ඉදිරිපත්ව නොමැති බව පැවසුවේය. ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනාම විත්ති වාචිකයක්‌ නොකැඳවාම නිදහස්‌ කරන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



එම අවස්‌ථාවේදී විනිසුරුවරයා තම තීරණය ප්‍රකාශ කරමින් නඩුවේ 3, 4, 5 වැනි විත්තිකරුවන් වූ කේ. ඒ. පුණ්‍යපාල, සරත් කුමාර වීරසේකර සහ වැලිකන්නගේ වික්‍රමසිංහ පෙරේරා නොහොත් සැන්ඩ්‍රා නමැත්තන් නිදොස්‌ කොට නිදහස්‌ කරන බව පැවසුවේය. 1 වැනි විත්තිකරු වන සුසන්ත පුංචිනිලමේ මහතා සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කිරීම මෙම 18 වැනිදා (ඊයේ) වන තෙක්‌ කල්තබන බවද විනිසුරුවරයා ඒ අවස්‌ථාවේ දැනුම් දුන්නේය.



නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 62 දෙනකු නම්කර තිබුණද සාක්‍ෂි ලබාගන්නා ලද්දේ සාක්‍ෂිකරුවන් 12 දෙනකුගෙන් පමණි. ඒ අතරින් සිවිල් සාක්‍ෂිකරුවන් හයක්‌ද පොලිස්‌ නිලධාරීන් සමඟ රජයේ රස පරීක්‍ෂකවරයා සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයාද ඉතිරි සාක්‍ෂිකරුවන් හයදෙනා අතර වූහ.



සිය තීන්දුවට හේතු වූ කරුණු පිළිබඳව සඳහන් කළ විනිසුරුවරයා නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගේ සමස්‌ත ප්‍රකාශයන් දෙස බලන විට මෙම සාක්‍ෂිකරුවන් විස්‌තර කොට ඇත්තේ එක සිද්ධියක්‌ද නොඑසේනම් ස්‌වාධීන සිද්ධිය ගණනාවක්‌ ගැනද යන සිතුවිල්ල නැඟෙන බව පැවැසීය. එම සාක්‍ෂි එකිනෙකට ගැටෙන බවද එනිසා එම සාක්‍ෂි වල ස්‌වභාවය සාධාරණීය කළ බවද විනිසුරුවරයා සඳහන් කළේය.



වෛද්‍ය වාර්තාවල සඳහන් කරුණු මත සලකා බැලීමේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ශරීරයට වූ තුවාල දෙකෙහිම ඇතුළුවීමේ තුවාල දක්‌නට ඇත්තේ සිරුරේ දකුණු පසට ආසන්න පිටුපස ප්‍රදේශයේ බවත් එසේ වෙඩි තබන ලද්දේ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක කොස්‌තාපල් සිරිසෝම විසින්ද නැතහොත් වෙනත් පාර්ශ්වයක්‌ විසින්ද යන්නට පිළිතුරක්‌ පැමිණිල්ලේ සාක්‍ෂි මගින් හෙළිදරව් වීමක්‌ නොවූ බවද විනිසුරුවරයා සඳහන් කළේය.



පැමිණිල්ල විසින් ඉදිරිපත්කොට ඇති සිද්ධිය පිළිබඳව ඇසින්දුටු සාක්‍ෂි අධිචෝදනා පත්‍රයෙහි චූදිතයාට විරුද්ධව නඟා ඇති වැරදි හෝ වෙනත් චෝදනා කිසිවක්‌ හෝ සනාථ කිරීමට අසමත්ව ඇති බවද විනිසුරු සඳහන් කළේය.



රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජීව දිසානායක මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඊට සහාය විය. සෞම්‍යා මුතුකුඩ, සදිසාරණි චන්ද්‍යා සහ චමරී ශ්‍රී විජයන්ති යන නීතිඥවරියන් සමඟ අධිනීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. 

No comments:

Post a Comment