Sunday, December 22, 2013

ශම්මි දරු දෙදෙනා එල්ලා තමනුත් එල්ලූනේ ඇයි?


ශම්මි තම ආදරණීය සැමියා සමග තම සිතැ`ගි පරිදි විවාහ වන විට නිසි කල වයස ද සම්පූර්ණ කර නොසිටියාය. දෙමවුපියන්ට හොර රහසේ 2003 වසරේ ඇය මධුෂ සමග විවාහ වූවාය. කපුගම ආරවත්ත ප්‍රදේශයේ මධුෂගේ නිවෙසේ පදිංචි වී සිටි මොවුන්ගේ පවුලේ
අගහිගකම් කෙතරම් තිබුණ ද දෙන්නා දෙමහල්ලෝ සතුටින් ජීවත් වූහ.


මධුෂගේ මහගෙදර වත්තේ ලැබුණු පුංචි ඉඩමේ පුංචි නිවහනක් තනාගත් ඔවුන්ට කලක් ගත වන විට පුංචි අමුත්තන් දෙදෙනෙක් ද එකතු වුණා.

මධුෂ අනුන්ගේ ත්‍රිරෝද රථයක් කුලියට දිවීමෙන් ඉපයූ මුදල නිවසක් සාදා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ශම්මි දැන සිටියා. ඇය සිහින මාලිගා තැනුවේ ද නැත.

විදෙස් රටක රැකියාවට ගොස් සිටි මධුෂගේ මව නැවත ලංකාවට පැමිණි පසු
මධුෂට නිවෙසක් තනා දෙන ලෙස පොරොන්දු වූ ආකාරයට ම ඇය එය ඉටුකළා. ඒ වන විට මධුෂ තමන්ටම කියා ත්‍රිරෝද රථයක් ද මිලදී ගෙන සිටියා.

පසුගිය 2013 ජුනි 15 වැනිදා මධුෂගේ උපන් දිනය යෙදී තිබුනා. මධුෂ එදින සිය මවගේ නිවෙසට ද ගොඩ වැදුනත් වෙනදා මෙන් ඔහුගේ මුහුණේ සිනහවක් තිබුනේ නැත. අම්මා දෙස හිස් බැල්මක් හෙළූ මධුෂ එතැනින් පිටවී ගියේ ප්‍රහේළිකාවක් ඉතුරු කරය. එදා සිට අද වන තෙක් ඔහු යළි පැමිණියේ නැත. සැමියාගේ අතුරුදන්වීම පිළිබඳ ශම්මිත් මධුෂගේ මවත් ගන්දර පොලීසියේ පැමිණිල්ලක් දැම්මේ අනතුරුවය. එහෙත් ඔහුව සොයාගන්නට එකවර ආරංචියක් ලැබුනේ නැත. පසුව හෝඩුවාවක් ලැබුනේ ඔහු බිරිය හා දරුවන් අතැර වෙනත් කසාදයක් කරගෙන බවකි. ඔහුගේ හදිසි වෙනස්වීම ශම්මිට දරාගන්නට අපහසුවුණා.

මධුෂ නැති නිවසේ තනිව සිටීමට ශම්මිට නොහැකි විය. ඔහු ගොස් දින තුනක් ගත වන තැන ඇය ගන්දර කජුගහ මංසන්දියේ ඇගේ මවගේ නිවසට දරුවන් දෙදෙනාත් රැගෙන පැමිණියාය.
එතැන් සිට ඇයත් දරුවන් දෙදෙනාත් රැක බලා ගත්තේ ශම්මිගේ මවත් ඇගේ සහෝදරයාත් විසිනි.

අනපේක්ෂිත ලෙස මුහුණදුන් මේ සිද්ධියෙන් ශම්මි දැඩි ලෙස වික්ෂිප්තව සිටියාය. ජීවිතේ මහමෙරක් තරම් වූ බරක් ඇයට දැනෙන්නට වුණත් ඇගේ මව ඒ හැම බරක් ම දැරුවාය. ශම්මිගේ මව හිරු ගිනිගෙන දැවෙන මහ දහවලේ කොහු ලණු මෝලේ කොහු අඹරන්නට වූවාය. ඇය වෙනදාට වඩා කඩිසරව ලණු ඇඹරුවේ ශම්මිගේ දරු දෙදෙනා අඩුවක් නොකිරීමේ දැඩි අදිටනිනි.

දුවත් දරුවන් දෙදෙනාත් නිවෙසේ තබා ශම්මිගේ මව උදෑසනින්ම කොහු මෝලට ගියාය. ඇගේ වැඩිමල් සොහොයුරු ස්වභාවධර්මයේ කිසිඳු අරියාදුවක් නොපිළි නොගෙන දෙවිනුවරින් මුහුදු ගියේය.

දරුවන් දෙදෙනාත් සමග නිවෙසේ තනිවම කල් ගෙවන ශම්මිට ජීවිතය කටුක ලෙසත් නීරස ලෙසත් දැනිණි. එහෙත් ඇය හැකිතරම් ඉවසුවාය. අතීතයේ ඇගේ පුංචි කැදැල්ල කැඩි බිඳි විසිරි ගිය හැටි සිහිවී ඇය තනිවම ඉකි බින්දාය. අතීතයේ සියලු දුක්දෝමනස්සයන් නිමා වී යළිත් ඇයට ජීවිතයක් ලැබේයැයි ඇය සිතමින් සිත හදාගත්තාය. සියලු බැඳීම් බිඳ දමා හැර දමා ගිය සැමියා පිළිබඳ ඇගේ සිතේ වෛරයක් නොතිබුණාම නොවේ.
පියා නොමැති තම දරුවන් දෑස් මෙන් ඇය රැක බලා ගත්තාය.

දිනය පසුගිය 15 වැනිදාය. උදෑසන 7.30 ශම්මිගේ මව කොහු ලණු මෝලට ගියාය. ශම්මි ඔවුන් ජීවත් කරවන්නට ඇගේ අම්මා දරන වෙහෙස ගැන දුක්වූයේ වරක් දෙවරක් නොවේ. දරුවන් සහ ඇයත් ඇගේ මවත් නොකළ වරදකට ද~ුවම් විඳිනවා නොවේදැයි ඇයට විටක සිතිණි. දරුවන්ගේ කුසගිනි නොදැනෙන තාත්තා ගැන ඇය දහස් වර සිතුවාය.

නිවස පාළු මූසල බවකින් පිරී පැවතිණි. මධුෂ දරුවන් දෙදෙනා හැර දමා ගොස් හරියටම සය මසක් ගෙවී ගොස් ඇත. සැඳෑ අඳුර ටිකෙන් ටික නිවස තුළට වැටෙමින් තිබිණි. ඒ අඳුර ඇගේ හිතේ තනිකම තව තවත් වැඩි කළේය. ඇය දැඩි තීරණයකට එළැඹුණාය.

මම 15 වැනිදා උදේ 7.30 ට විතර ගෙදරින් ගියා ලණු අඹරන්න. එතකොට දුවත් දරු දෙන්නත් හොඳට හිටියා. මම වැඩ ඇරිලා ගෙදරට එන විට වෙලාව සවස 5.30 ට විතර ඇති. දරුවන්ට කන්න දෙන්න හාල්, එළවළු ආදියත් අරගෙනයි මම ආවේ. එනකොට ගෙයි දොර වහලා.

අසල්වාසීන්ගෙන් ගිහින් මම ඇහුවා අපේ දුව කොහේද කියලා. කවුරුත් කිව්වේ සවස නම් ගෙදර හිටියා ගමනක් යන බව කිව්වේ නෑ කියලා. මම ආපසු ගෙදර ඇවිත් හැමදාම යතුර තියන තැන බැලුවා. යතුර ඒ ස්ථානයේම තිබුණා. මම ගෙයි දොර ඇරලා කාමරයට ගිහින් බැලුවා.

මම ගිහින් බලනකොට තුන්දෙනාම එල්ලිලා. මම පුංචි පුතා බදාගෙන ඇ~ුවා කෑ ගැහුවා. දරුවගේ මුළු ඇ`ගම මුත්‍රාවලින් තෙමිලා. මම කෑගැහුවා මට මතක එච්චරයි. මට කලන්ත වෙලා. ඇහැ ඇරලා බලන විට පොලිස් නිලධාරීන් ඇවිත් හිටියා.

ශම්මිගේ මව වන රන්ජනී අලහකෝන් මහත්මිය හැඬූ කඳුළින් කියාගෙන ගියාය.

දස මසක් කුස දරා ලේ කිරට හරවා අම්මාගේ තුරුළේ කිරි උරන්නට, හිනාවෙන්නට, අඬන්නට වූ ශම්මි උස් මහත් කළ මවට මේ දුක කෙසේ වාවා ගන්න ද? එහෙත් දරුවකුගේ මරණය වළක්වන්නට මවකට වුවද නොහැකිය. එහෙත් මෙවන් අකල් ඛේදවාචකයක් සිදුවේයැයි අම්මා කිසි දිනක සිතන්නට නැත.

ඇය ඔවුන් ජීවත් කරවන්නට උදේ දහවල් වෙහෙසී ගත දහදිය හෙළමින් වෙහෙසුණාය. තම දරුවන්ගේ කුසගින්න නොහඳුනන දරු දුක නොදන්නා නරුම පියා ඔවුන් හැරදා ගිය ද ඔවුන්ට පිටුපාන්නට ශම්මිගේ මවට නොහැකි විය. ඒ අම්මාට කඳුළක් උරුම කර දී ශම්මි මේ වන විට දරුවන් සමග මෙලොව හැරදා ගොස් හමාරය.

මවුපියන් අතර පවතින කිසිඳු අරගලයකට පුංචි දරුවන් වන්දි ගෙවිය යුතු නැත. රාගය ද්වේෂය, මිනිසුන්ගේ ජීවිත ගිනි අවුළුවා දවාලන්නේය.

එවිට ඔවුන් වල්මත් වූවන් ලෙස සියලු සම්ප්‍රදායික බැඳීම් සහ වගකීම්වලින් නිදහස් වී තමන්ගේත් තම ලෙයින් උපන් දරුවන්ගේත් ජිවිත විපතට පත්කර ගන්නේය. තම දරුවන්ගේ දුක, වේදනාව, කුසගින්න නොහඳුනන නරුම පියවරුන් පිළිබඳ අප මේ සමාජයෙන් කොතෙක් අසා ඇති ද?

දරු පැටවුන් සමග අනාථ වී අන්ත අසරණ වී සිටින අම්මාවරුන් අප කොතෙකුත් දැක ඇත් ද? වෙනත් විකල්ප නැතැයි සිතන සමහර මවුවරු දරුවන් සමග ගංගාවලට මහමුහුදට එසේත් නොමැතිනම් කෝච්චියට පනිති. මිනිසත්කම නොහඳුනන ~අම්මා~ යන වදනට නිගා කරන පිරිමින් වෙනුවෙන් කාන්තාවන් එවැනි තීරණවලට එළැඹිය යුතු නැත.

තම දරුවන්ගේ බිරියගේ මරණය තමන්ට සැනසිල්ලක් යැයි සිතන නරුම මිනිසුන් වෙනුවෙන් තම වටිනා ජීවිතයත් අහිංසක දරුවන්ගේ ජීවිතත් විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. කෙසේ හෝ කළ යුත්තේ ජීවත් වීමය.

සටහන -සුභද්‍රා දේශප්‍රිය
පසුබිම් කතාව - ජයසිරි පේදුරුආරච්චි

No comments:

Post a Comment