Friday, December 20, 2013

සත්ගුණවත් වෙසින් සිටිය සැමියෙකුට සහ පෙම්වතෙකුගේ වෙස්ගත් බොරුකාරයෙකුට රැවටණු අහිංසකාවියක්


ලීෂාට තමන්ගේ පෙම්වතා වුණු මහේන්ද්‍රට පිටුපාන්න සිද්ධ වුණේ මහේන්ද්‍රගෙ ගෙදරින් වගේම මලීෂාගේ ගෙදරිනුත් මේ විවාහයට කොහෙත්ම කැමති නොවීම නිසයි. මේ දෙදෙනාගේ තරමක් දුර නෑදෑකමක් තිබුණා. ඒ නෑදෑකමට අනුව මලීෂාට මහේන්ද්‍රගෙ තාත්තා මහප්පා කෙනෙක් වුණා. මේ විවාහයට වැඩිහිටි අනුමැතියක් නොලැබුණේ නෑදෑකම පරහට හිටපු නිසයි. 
අන්තිමේ මලීෂා
දෙමාපියන් ගෙනා යෝජනාවකට අනුව රුවන්ව කසාද බැන්දා. රුවන්ට යම් තරමකට වත්‍පොහොසත්කම් තිබුණා. ඒ වගේම රුවන් සමාජය තුළ පෙනී හිටියේ ඉතාම සත්ගුණවත් මනුෂ්‍යයකු ලෙසයි. හැබැයි ඒක වැරදිම නෑ. රුවන් තමන්ගේ ධනය නැති බැරි අයට පිහිට වීම සඳහාත් වැය කළා. රුවන් ඒවා කළේ කැමැත්තෙන්. මේ නිසා රුවන් ඒ පළාතෙම ප්‍රසිද්ධයි.
රටට කොහොම වුණත් ගෙදරට නම් රුවන් ඒ තරම් හොඳ වුණේ නෑ. මලීෂාව විවාහ කර ගත්තට රුවන් මලීෂගෙ වුවමනා එපාකම් ගැන මලීෂාගේ සැප දුක ගැන දැක්වූයේ අල්ප වූ උනන්දුවක්. ඒ වගේම රුවන්ගෙ හැසිරීම්වලත් කිසිම ආදරණීය බවක් රැඳිල තිබුණෙ නෑ. මහේන්ද්‍ර තමාට මොන තරම් ආදරයක් දැක්වුවද කියලා හිතෙන කොට රුවනුයි මහේන්ද්‍රයි අතරෙ මලීෂාට මහා විශාල වෙනසක් පෙනුණා.
රුවන් මොන විදිහේ කෙනෙක්ද කියලා මලීෂා හරියටම දැන ගත්තෙ විවාහ වෙලා අවුරුදු එක හමාරකින් දියණියක් බිහි කළාටත් පස්සෙයි. රුවන් සාන්තුවරයෙක් වගේ ලෝකෙට පෙන්නගෙන හිටියට බොහෝ කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා පවත්වන කෙනෙක් බව හරියටම දැන ගත් දවසෙ මලීෂාට දැනුණේ සර්වාංගයම ගින්නකින් පිළිස්සිලා යනව වගේ හැඟීමක්. ඒත් මේවා ඇහුවා කියලාත් ඵලක් නොවන බව වටහා ගෙන සිටි නිසාම මලීෂා කාටවත් නොකියා ඒ හැම දෙයක්ම හිතේ දරාගෙන හිටියා. නමුත් එක්තරා ගණිකා නිවාසයක් ‍පොලීසිය විසින් වටලපු අවස්ථාවක රුවනුත් ඒකෙ ඉඳල අහුවුණු බව ‍පොලීසියෙන් දැන ගත්තට පස්සේ තව දුරටත් රුවන් එක්ක දීග කන එක තේරුමක් නැතිබව මලීෂාට වැටහුණා. මලීෂා ගොඩක්ම බය වුණේ රුවන්ගේ මේ නොපනත් ක්‍රියා නිසා තමාට ඒඩ්ස් වැනි භයානක රෝගයක් බෝවෙයි කියලයි.
තමන්ගේ දියණියවත් අරගෙන මලීෂා රුවන්ගේ කුලගෙය හැරදමා එන කොට රුවන් ඒක වැළැක්වුවෙත් නෑ. මලීෂා හිටියේ විශාල කලකිරීමකින්. ගෙදර ඇවිත් අම්මලට හැම විස්තරයක්ම කිව්වට පස්සේ අම්මලා මලීෂාව දොට්ට දැම්මෙ නෑ. ඒ වෙද්දී අවුරුදු දෙකකට ආසන්න වයසේ සිටි දියණිය මවට භාර කරල මලීෂා ඉන්පසුව ගාමන්ට් එකක රස්සාවක් හොය ගත්තේ තමන්ගේ එකම දරුවාට දුකක් නොදී ඇතිදැඩි කරගන්න ඕන වුණු නිසයි. 
මේ වෙනකොටත් මලීෂාගෙ කලින් පෙම්වතා මහේන්ද්‍ර විවාහ වෙලා හිටියෙ නෑ. මලීෂා මේ විදිහට තමන්ගෙ සැමියාගෙන් වෙන්වෙලා දරුවත් අරන් ආපසු ඇවිදින් බව දැන ගත්තම මහේන්ද්‍ර හිත යටින් පුදුම විදිහට සතුටු වුණා. ඊට පස්සෙ ගාමන්ට් එක ළඟට ගිහින් මලීෂාව මුණ ගැහුණු මහේන්ද්‍ර හැම තොරතුරක්ම අහල දැන ගත්තෙ හිතේ සැඟවුණු ලොකු බලා‍පොරොත්තුවකින්.
“මලීෂා කැමති නැද්ද රුවන්ගෙන් දික්කසාද වෙන්න?” මහේන්ද්‍ර මලීෂාගෙන් ඇහුවා.
“කොහොමත් ඒ මනුස්සයා මට නඩු දායි දැන්”
“ඊට පස්සෙ මං ඔයාවයි දරුවවයි භාර ගන්න කැමැති වුණොත් ඔයා එනවද?”
මහේන්ද්‍ර ඇහුවෙ මලීෂා හීනෙකින්වත් හිතපු නැති දෙයක්.
“එදා ඔයාට මාව ගැළපුණාට. අද ඔයාට මාව ගැළපෙන්නෙ නෑ අයියේ. ඒ හින්දා ඔය අදහස හිතින් අත්ඇර ගන්න” මලීෂා කීවේ කාරුණිකව. මලීෂා එහෙම කිව්වත් මහේන්ද්‍ර මලීෂා ගැන අදහස හිතින් අතහැර ගන්න සූදානම් වුණේ නෑ. කොහොම වුණත් එදා මහේන්ද්‍රට අකමැති වුණු මලීෂාගේ දෙමව්පියො මෙදා මහේන්ද්‍රට මලීෂාව දෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් එක වතාවක් අමාරුවේ වැටුණු මලීෂා තව වතාවක් අමාරුවේ වැටෙන්න කැමති වුණේ නෑ. මලීෂාගේ හිත කිව්වෙම මහේන්ද්‍ර තමාව විවාහ කර ගන්න හදන්නෙ එදා තිබුණු ආදරේ හින්ද නෙමේ කියලයි. බොහෝ වෙලාවට තමන්ගෙ දෙමාපියන්ගෙන් පළිගැනීමේ ච්ෙතනාව මහේන්ද්‍ර තුළ ඇති කියල මලීෂාට තදින්ම හිතුණා.
කොහොම වුණත් මලීෂා මහේන්ද්‍රට ආදරෙයි. ඒක රුවන් ගැන මලීෂාට දැනිලා නොතිබුණු විදිහෙ ආදරයක්. ඒත් තමා ඒ ආදරය හේතුවෙන් වුණත් මහේන්ද්‍ර සමග විවාහ වීම රෑ වැටුණු වළේ දවල් වැටීමක් බවයි මලීෂා විශ්වාස කළේ.
අන්තිමේ මහේන්ද්‍ර වෙන තරුණියක් සමග විවාහ වුණා. එදා කාටත් හොරා මලීෂා රෑ එළිවෙන තුරු හඬා වැළපුණා. තමා රුවන් සමග විවාහ වුණු දවසේ මහේන්ද්‍රත් මේ වගේම දුකක් විඳින්න ඇති කියලා මලීෂාට හිතුණා. නැවත කවදාවත් විවාහයක් වෙන අදහසක් මලීෂාගේ හිතේ නෑ. දැන් මලීෂාගෙ දුව පාසල් යනවා. මලීෂා කැප වෙන්නෙ ඒ පුංචි දැරිය වෙනුවෙන්. ඒත් මහේන්ද්‍රව මලීෂාට හිතින් ඈත් කරන්න බෑ. දැන් මහේන්ද්‍රවත් ඒ පවුලෙ කිසි කෙනෙක්වත් මලීෂලාගේ පවුලත් එක්ක මොනව විදියේ ඇයි හොඳයියක්වත් නෑ. ඒකත් මලීෂාට ලොකු වේදනාවක්.
වේදනාව හිතේ තද කරගෙන තෙරපාගෙන ජීවත් වුණු මලීෂාට අන්තිමේ ඒ පීඩනය දරා ගන්න බැරි තරමට වෙඩිල්ලක් වගේ පුපුරලා ගියේ මලීෂාගෙන් පළිගන්න මහේන්ද්‍ර විසින් කරන ලද බොරු චෝදනාවක් ගැන දැන ගන්න ලැබුණට පසුවයි. මලීෂා දරුවත් එක්ක ආපහු ගෙදර ආවට පස්සේ මහේන්ද්‍රගෙ කරේ එල්ලෙන්න ලොකු වීරියක් ගත්තා කියලා මහේන්ද්‍ර එයාගේ දෙමව්පියන්ට කියලා. දවසක් ඒ දෙන්නම ඇවිත් මලීෂාට හරිම අසභ්‍ය විදිහට බැණල ගියා. මලීෂා මොනතරම් සත්‍යය පහදා දෙන්න හැදුවත් ඔවුන් මලීෂා කියන්න හදපු දේ අහන්නවත් සූදානම් වුණේ නෑ. බලා‍පොරොත්තු කඩවීමේ වේදනාවට අමතරව තමා මහත්සේ ආදරය කළ විශ්වාස කළ පුද්ගලයා මේ ආකාරයට සතුරු වෙස් ගැනීමේ වේදනාවත් මලීෂාට ඔරොත්තු දුන්නේ නෑ. අන්තිමේ මලීෂා කන්න බොන්න විතරක් නොවේ වෙන කිසිම දේකට උනන්දු නොවී හැම තිස්සෙම මුළු ගැන්විලා බලා ගත්තු අතේ බලාගෙන දවස ගෙවන්න පටන් ගත්තා. මලීෂාට නින්ද යන්නෙත් නෑ. දරුවා ගැන වැඩි හැඟීමකුත් නෑ. ගාමන්ට් එකේ රැකියාවට යන එකත් හිටි ගමන් නතර වුණා. අන්තිමේ මලීෂාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර දෙන්න සිද්ධ වුණේ මලීෂා තදබල ලෙස විශාද රෝගයට ලක්වී සිටි නිසයි. දැන් මලීෂා ටිකෙන් ටික සුවය ලබමින් සිටිනවා.
ඉන්දු පෙරේරා


 උගන්ඩාවේ කොට සාය තහනම්




උගන්ඩාවේ කොට සාය තහනම්

No comments:

Post a Comment