Thursday, January 23, 2014

ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිවිල් සිසුන් සූරා කෑමක්


රජයේ සරසවිවල සියලු උපාධි පාඨමාලා කොතලාවල ආරක්‍ෂක සරසවිය මගින් ඇරඹීමට යන බව රජය නිවේදනය කලේ මීට දෙවසරකට ඉහතදීය. මේ අනුව ප්‍රථම උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා වන සියලු උපාධි පාඨමාලා සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවැත්වෙනු ඇත. 


ඉංජිනේරු, වෛද්‍ය, නීති, ගුවන් ඉංජිනේරු, ගුවන් නියමු, මුහුදු ඉංජිනේරු, කළමනාකරණ, මානව සම්පත්, තොරතුරු තාක්‍ෂණය ඇතුළු උපාධි පාඨමාලා රැසක් සඳහා සිසුන් බදවා ගැනීම සිදුකරයි. සියලු පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. එසේම පෞද්ගලික සිසුන්ට කැමති නම් මුදල් ගෙවා හමුදා පුහුණුව ලබා ගත හැකි බවද සදහන් කර ඇත. 



මෙම විශ්ව විද්‍යාලයේ වසර පුරා දේශන පැවත්වෙන බවත් නවක වදය, උද්ඝෝෂණ ආදිය මෙම විශ්වවිද්‍යාලයේ නැති බවත් මතක් කල යුතුමය. මේ අනුව ප්‍රථම වසරේදී පහත සදහන් ගාස්තු යටතේ සිසුන් බදවා ගන්නා ලදී. 

ඉංජිනේරු - රු. 1600 000 
නීතිය - රු. 700 000 
කළමණාකරණය - රු. 600 000 
තොරතුරු තාක්ෂණය - රු. 300 000 



මීට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බවද විශ්ව විද්‍යාලය විසින් මුලදී කියා සිටියේය. නමුත් ආහාරපාන හා අනෙකුත් පහසුකම් ලබාගන්නේ නම් ගෙවීමක් සිදුකල යුතුය. මේ සියල්ලේම කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැත. එහෙත් ගැටලුව පැන නගින්නේ විවිද බිල්පත් ඉදිරිපත් කරමින් සිසුන්ගෙන් මුදල් කඩා ගැනීම ආරම්භ වීමෙන්ය. 



ආරක්ෂක ලේකම්වරයාගේ කීකරු ගෝල බාලයන් පිරිසක් විසින් පාලනය කරන මෙම විශ්ව විද්‍යාලයේ ගාස්තු ගෙවීම විනා කල හැක්කක් මේ සිසුන්ගේ දෙමාපියනට නැත. මුල සිටම සිසුනට ලබාදෙන සියලුම දෑ සදහා සිසුන්ගෙන් මුදල් අය කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු කලේය. 



මෙම විශ්ව විද්‍යාලයට ඉහල පවුල් වල මෙන්ම සාමාන්‍ය පවුල් වල දරු දැරියන්ද අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන අතර මෙවැනි බිල්පත් ගෙවීම ඔවුනට ඉතාමත් දුෂ්කර වී ඇති බවට පැමිණිලි රාශියක් මේ වන විට විශ්ව විද්‍යාලයට ලැබෙමින් පවතී. 



ගැටලුව වන්නේ මෙවැනි බිල්පත් අයකර ගැනීම සිදු කරන්නේ සිසුන්ව දැඩි මානසික ආතතියකට ඇද දමමින් වීමයි. මේ සදහා යොදා ගැනෙන්නේද හමුදා නිලධාරීන් වේ. අනෙක් කරණය නම් මෙලෙස අය කර ගැනීමට යොදාගන්නා මාර්ග ඉතාමත් ලැජ්ජා සහගත වීමයි. 



ප්‍රධානතම කාරණය වන්නේ මෙලෙස නැවත අය කරන්නේ අයකරගත් දෑ සදහා වීමයි. 2012 වසරේදී සිසුන්ට ලබා දුන් විශ්ව විද්‍යාල ලෝගුව සදහා රු. 7000ක මුදලක් අයකරගත් අතර නැවත මෙම දෙසැම්බර් මාසයේදී එහි බොත්තම් සදහා යැයි කියමින් රු. 606ක මුදලක් අය කර ගැනීම ඉතා නින්දිත කටයුත්තක් ලෙස දැක්විය හැක. 



සිවිල් සේවකයන් ලෙස අප මෙම අසාධාරණය පිළිබද නොයෙකුත් ලෙස ඉහල පරිපාලනය හා අමාත්‍යංශය දැනුවත් කලද ඒ සදහා සුදුසු විසදුමක් ලබා දීමට කිසිදු නිලධාරියෙක් ඉදිරිපත් නොවීය. 



අනෙක් පසින් උප කුලපති වරයා විසින් තවත් උප්පරවැට්ටියක් යෙදුවේ සිසුන්ගෙන් වාර්ශිකව තවත් මුදල් කඩා ගැනීමටය. ඒ දිනපොතක් හා දින දර්ශකයක් මුද්‍රණය කොට ඒවා මිලදී ගැනීම සිසුන්ට මෙන්ම සියලු සේවකනට අනිවාර්ය කිරීමෙනි. ඒ සදහා රු. 1595ක මුදලක් අය කරයි. 



ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ වන විට දැඩි ලෙස ලාභ ලබමින් සිටින අතර මෙවැනි පහත් අය කර ගැනීම සිදු කල යුතු තැනකට පත් වී නොමැත. තවත් විශේෂ වූ කාරණයක් සිහිපත් කළ යුතුය. එනම් හමුදා නිලධාරීන් හා සිසුන් තුල අතර ඇතිවන ගැටලු දිනපතාම පාහේ දැක ගත හැකිය. 



විනය මෙම විශ්ව විද්‍යාලයේ ඇති ප්‍රධානම සාධකය වුවද මෙම සිසුන් ජීවත් වන්නේ සිවිල් වටපිටාවකය. එහෙත් හමුදා නිලධාරීන් ඔවුන් සමග නිතරම ගැටලු ඇති කරගැනීමට පෙළඹී සිටින්නේ ඒ බව නොදන්නා ගානට වීම ඉතාමත් කණගාටුදායක වී ඇත. උදෑසනම පැමිණෙන සිසුන් වෙත කඩා පනින මෙම හමුදා නිලධාරීන් ඔවුනගේ අධ්‍යාපන කටයුතු වලද දැඩි බාධකයක් වී තිබේ. 



සමහරක් සිසුන් ඔවුන් සමග ගැටෙමින් කටයුතු කලද බහුතරයට සිදුව ඇත්තේ ඔවුනගේ නියෝග මත කටයුතු කිරීමටත් උදේ පාන්දරම හොද වැයින් දෙකක් අසාගැනීමටත්ය. නමුත් ඔවුන් කිසි දිනෙක ඉහල නිලධාරීන්ගේ දරුවනට කිසිවක් කීමට ඉදිරිපත් නොවෙයි. මේ සියලු පීඩා විදින්නේ මෙහි සේවය කරන සිවිල් සේවකයන් හා සාමාන්‍ය සිවිල් සිසුන් පමණි. 



සිවිල් සේවකනට තම මෝටර් සයිකලය ඇතුල් කිරීමට අවසර නොදෙන විශ්ව විද්‍යාල පාලනාධීකාරිය ඉහල නිලධාරීන්ගේ දරුවන්ට හා ප්‍රභූ වරුන්ගේ දරුවන්ට තම මෝටර් රථ විශ්ව විද්‍යාලයේ ඕනෑම තැනකට ඇතුල් කිරීමට ඉඩ දී ඇත. මේ අතර සම සෞඛ්‍ය පාඨමාලාව හදාරන සිසුන් විශ්ව විද්‍යාලය තුල දැඩි ලෙස අසරණ වී ඇත. ඔවුනට කුඩම්මාගේ සැලකිලි දක්වන පරිපාලනය ඔවුන් දෙස බලන්නේ යාචකයෙකු දෙස බලන අයුරිනි. 



ඊට හේතුව වන්නේ ඔවුන්ගෙන් බහුතරය මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන්නේ මුදල් ගෙවීමකින් තොරව වීමයි. ඔවුන් ද දැඩි ලෙද පීඩනයකට ලක් වී ඇති හෙයින් මේ සදහා ඉක්මන් විසදුමක් නොලැබුණහොත් මෙම විශ්ව විද්‍යාලයද සමාන්‍ය විශ්ව විද්‍යාලයක් බවට පත් වීම වලක්වාලිය නොහැක. 



විශ්ව විද්‍යාලයේ සියලු කටයුතු මෙහෙයවන්නේ හමුදා නිලධාරීන් මගිනි. විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නම් අපට යමක් නොකියාම බැරිය. විශ්වවිද්‍යාලයක උප කුලපතිවරයෙකුට පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ තිබිය යුතුය. 



මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතා යන්තම් උසස් පෙළ සමතෙකි. ඒ මහතාට පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් නොමැත. පීරිස් මහතා ලෝකයේ නොයෙකුත් හමුදා පාඨමාලා හදාරා එම පාඨමාලා සමත්ව තිබිය හැක . 



නමුත් විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු වීමට එය ප්‍රමාණවත් නොවේ. මේ නිසා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වලංගුතාව පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න නැගිය හැකිය. එසේම ලංකාවේ අඩුම අධ්‍යාපන සුදුසුකම ඇති උපකුලපතිවරයා මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතා විය හැක. එම නිසා ඉදිරි කාලයේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපන පීඨ වලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අවධානය යොමු කල යුතුය. 



නැතහොත් විශ්ව විද්‍යාල ප්‍රජාව අතර උසස් අධ්‍යාපනයක් නොමැති තරු පමණක් උරපතු වල ඇති නිලධාරීන් විවිධ අපහසුතා වලට පත් වීම නොවැලැක්විය හැකිය.

Follow us: 33000lk on Facebook

No comments:

Post a Comment