Thursday, January 16, 2014

දෙමාපියන්ගෙන් මුදල් ගරන්න බන්දුල ලයිසන් දෙයි!

BandulaGunawardenaපාසල් සංවර්ධන සමිති චක‍්‍රලේඛය ඇතුළු මෙතෙක් බලපැවැත්වූ චක‍්‍රලේඛ අවලංගු කරමින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් මගින් පාසල්වල කටයුතු මුළුමනින්ම දෙමව්පියන් මත පටවා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිදහස් අධ්‍යාපනය සුරකින බවටත්, අධ්‍යාපනයට රජය මඟින් මහ ඉහළින් ප‍්‍රතිපාදන වෙන් කරන බවටත් පාරම්බාන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු රජය මෙම නව චක‍්‍රලේඛය මඟින් පාසල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා රජයෙන් වෙන් කළ යුතු ප‍්‍රතිපාදන වෙන් නොකර එම බර දෙමව්පියන් වෙත පැටවීමටත්, අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන අනිසි මුදල් එකතු කිරීම් තවදුරටත් තහවුරු කිරීමටත් කටයුතු කර ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙසත්, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම නරත කරන ලෙසත් දිගින් දිගටම මෙරට ජනතාව ඉල්ලීම් කරමින් තිබියදී රජය මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංගමය බලවත් විරෝධය පළ කරයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්ගේ අත්සනින් යුතුව 15වැනිදා නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේද සදහන් වේ.

1982 මාර්තු 30 දිනැතිව නිකුත් කළ 1982/2 පාසල් සංවර්ධන සමිති චක‍්‍රලේඛය, 2002/30 දරන ගුණාත්මක යෙදවුම් චක‍්‍රලේඛය, 2006/16 දරන ගුණාත්මක යෙදවුම් මුදල් වැය කිරීම පිළිබඳ චක‍්‍රලේඛය, 2008/35 දරන පාසල් නඟා සිටුවීමේ වැඩසටහන් චක‍්‍රලේඛය ඇතුළු මෙතෙක් කි‍්‍රයාත්මක වූ සියලූ චක‍්‍රලේඛ අහෝසි කොට ‘‘පාසල් පාදක ගුණාත්මක, ප‍්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප‍්‍රසම්පාදනය පිළිබඳ චක‍්‍රලේඛය හා මාර්ගෝපදේශ අත්පොත’’ නමින් 07/2013 අංකයෙන් අධ්‍යාපන ලේකම් අනුර දිසානායක නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

2013 නොවැම්බර් 28 දිනැතිව මෙම චක‍්‍රලේඛය නිකුත් වුවද පාසල්වලට, අදාළ චක‍්‍රලේඛය නිකුත් කරමින් පවතින්නේ මේ දිනවලය. මෙහි ඇති සුවිශේෂ කාරණා වන්නේ, පාසැල්වල පැවති සියලූම වෙනත් ගිණුම් අහෝසි කොට පාසල් සංවර්ධන ගිණුම නමින් නව බැංකු ගිණුමක් 2014 ජනවාරි 01 දිනට ආරම්භ කළ යුතු බව දක්වා තිබීමයි.

එසේම බරපතළ කරුණ වන්නේ 1982/2 දරන පාසල් සංවර්ධන සමිති චක‍්‍රලේඛයේ සාමාජික මුදල වර්ෂයකට රු.3 කට නොවැඩි මුදලක් විය යුතු බව සඳහන් කර තිබියදී නව චක‍්‍රලේඛයේ එය රු.50ට නොඅඩු වූ රු.600 ට නොවැඩි සාමාජික ගාස්තුවක් අය කරන ලෙසට මෙම චක‍්‍රලේඛයෙන් දැනුම් දී තිබීමයි.
මේ අනුව පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල රු.36 සිට රු.600 දක්වා වැඩි කොට ඇත.

මෙම නව චක‍්‍රලේඛයේ 4.2.5.4 (ආ) පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන ඉදිකිරීම් හා අලූත්වැඩියා සිදුකිරීමට වැඩසටහන් සකස් කර කි‍්‍රයාත්මක කිරීම, REx 3.2 තුළ විදුලි බිල්පත්, ජල බිල්පත්, දුරකතන බිල්පත්, අන්තර්ජාල බිල්පත්, මුද්දර ගාස්තු උපයෝගීතා සේවා යටතේ සිදු කිරීමට ද, REx 5 යටතේ යන්ත්‍රෝපකරණ, මෙවලම්, පන්තිකාමර හා කාර්යාල ලී බඩු, පරිගණක යන්ත‍්‍ර, යතුරු ලියන යන්ත‍්‍ර, ඡායා පිටපත් යන්ත‍්‍ර අලූත්වැඩියා කටයුතු ද, REx 6 යටතේ පාසල් ගොඩනැගිලි නඩත්තුව සහ සුළු අලූත්වැඩියා වියදම් ද, CEx 1.1 යටතේ පාසලට අවශ්‍ය ජලය, විදුලිය වැනි මූලික පහසුකම් ලබා ගැනීමට දරන වියදම් ද, REx 3 යටතේ පුස්තකාල පොත් මිලට ගැනීම් ඇතුළු කාර්යයන් ගණනාවක්පාසලට පවරා ඇත.

ගුණාත්මක යෙදවුම් සහ රජයේ අරමුදල්වලින් ලැබෙන ප‍්‍රතිපාදන ප‍්‍රමාණයන් පිළිබඳ සඳහන් නොවන අතර දෙමව්පියන්, සුභ පතන්නන්, ආදි ශිෂ්‍ය සංගම්වල පරිත්‍යාග සහ අනුමත ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන ආධාර බාහිර අරමුදල් ප‍්‍රභව ලෙස දක්වා ඇත.

රජය 2014.01.01 සිට පැවති සියලූ චක‍්‍රලේඛ අවලංගු කරමින් නිකුත් කර ඇති මෙම නව චක‍්‍රලේඛය මගින් මුළුමනින්ම පාසල් නඩත්තු කිරීමේ බර දෙමව්පියන් වෙත පැටවීමට පිඹුරුපත් සකසා ඇත.

නිදහස් අධ්‍යාපනය සුරකින බවටත්, අධ්‍යාපනයට රජය මඟින් මහ ඉහළින් ප‍්‍රතිපාදන වෙන් කරන බවටත් පාරම්බාන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු රජය මෙම නව චක‍්‍රලේඛය මඟින් පාසල් පද්ධතිය නඩත්තු කිරීම සඳහා රජයෙන් වෙන් කළ යුතු ප‍්‍රතිපාදන වෙන් නොකර එම බර දෙමව්පියන් වෙත පැටවීමටත්, අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවන අනිසි මුදල් එකතු කිරීම් තවදුරටත් තහවුරු කිරීමටත් කටයුතු කර ඇත.

මෙම චක‍්‍රලේඛය හරහා දෙමව්පිය වෙත පාසල් නඩත්තු කිරීමේ බර පැටවීමට ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී. මේ පිළිබඳ දැනුවත්ව මීට එරෙහිව කි‍්‍රයාත්මකවන ලෙස සියලූ බලවේගවලින් ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

No comments:

Post a Comment