Tuesday, January 28, 2014

දුමින්දගේ දූතයන් හා කොළොන්නාවේ කුඩු ජාවාරම

කොළොන්නාව නම් වූ කුඩු රාජ්‍යයේ සිටින කුඩ්ඩන්ගේ පැවැත්මට දුමින්ද සිල්වා හයියක් වූ බව නොරහසකි. දුමින්දට වෙඩි වැඩී රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ පුරා කුඩු හිඟයක් ආවේ ඒ නිසාය.


දුමින්ද සිල්වා හා යුධ වැදීමට පැමිණි හිරුණිකාගේ ප්‍රධාන දේශපාලන තේමාව වන්නේ කොළොන්නාව කුඩු වලින් මුදවාගැනීමයි.



කෙසේ වුවද හිරුණිකාට ලැබෙන ජන්ද ප්‍රමාණය යම් පමණකින් හෝ අඩු කිරීමට දුමින්ද සිල්වා විසින් තම දූතයක් දෙදෙනෙකුද මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබේ. ඒ රුවන්ති මංගලා හා ජින්ජර් වයිට් ය.


නමුත් මැතිවරණයට ඉදිරිපත් වන නළු නිළියන් හා ගායකයන් සැලකීමේදී ඒ සියල්ලන්ටම වඩා හිරුණික හට ජන්ද ලබාගත හැකි බව නොරහසකි. අනෙක් නිළියන් මෙන් හදිසියේ කඩාපාත්වීමකින් තොරව පසුගිය කාලයේ දේශපාලනය ගැන කතා කිරීමත් දුමින්ද සිල්වාට විරුද්ධව යුධ වැදීමත් එයට හේතුවයි. එනෙක් කරුණ නම් භාරත ලක්ෂ්මන් ගේ දේශපාලන පසුබිමයි.



කෙසේ වුවද දුමින්ද සිල්වා වෙනුවෙන් දේශපාලනයට පැමිණි මංගලා රුවන්ති හා ජින්ජර් යන දෙදෙනාම දුමින්දට විරුද්ධව තිබෙන කුඩු, හා ළමා අපචාර සම්බන්ධයෙන් පවසා තිබේ.


කුඩු සම්බන්ධයෙන් දෙදෙනා පවසන කතා පරස්පරය. කොළොන්නාවේ කුඩු කියා දෙයක් තිබෙන බව වත් මංගලා රුවන්ති නොදනී. නමුත් ජින්ජර් පවසන්නේ මාව දේශපාලනයට ගෙනාවෙත් දුමින්ද සිල්වා, ඒත් කොළොන්නාවෙ කුඩුවලට මම අත තියනවා යනුවෙනි.



පහත සඳහන් වන්නේ දුමින්ද සිල්වාගේ පෙළඹවීම මත මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මංගලා රුවන්ති හා ජින්ජර් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ජා දෙකකි.



මාව දේශපාලනයට ගෙනාවෙ දුමින්ද සිල්වා- හැබැයි ළමා අපචාරවලට එරෙහිව මම අත තියනවා - රුවන්ති මංගලා 


ඔබව දේශපාලනයට ගේන වුවමනාව පිටිපස්සෙ කවුද ඉන්නෙ?
ගරු ආර්. දුමින්ද සිල්වා මැතිතුමා. හොඳ නායකත්වයක් තියෙන කෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයට ලොකු සංවර්ධනයක් කරන කෙනෙක්. වැඩ කරන කෙනෙක්. ඒ නිසා මං ඒ යෝජනාවට කැමැති වුණා.


ඔබ දේශපාලනයට එන්නේ ඇත්තටම ජනතාවට සේවය කරන්නද?
ඔව්. ළමා අපචාර ගැන බලන්න වගේම ජනතාවට සේවය කරන්න ඕන නිසා. 



රුවන්ති කොළොන්නාවට දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ දකින්නෙ මොන විදියටද?
ගරු දුමින්ද සිල්වා මැතිතුමා ඔක්කොම සම්පූර්ණ කරගෙන යනවා. යම් යම් අඩුපාඩු ඇති. පාරවල් නැති ඒවා වගෙ. මං ආවොත් ඒ දේවල් හොයලා බලනවා.



ලොකුම ප්‍රශ්නෙ කුඩු කියන්නේ එතකොට බොරුවක්ද?
කුඩු කියන දේ කොළොන්නාවට විතරක් අයිති දෙයක් නෙවෙයි.



හැබැයි කොළොන්නාව කියන්නේ කුඩු තිප්පළක් කියන එක රටම දන්නවා?
ආර්. දුමින්ද සිල්වා මැතිතුමා ඒක තුරන් කරන්න කටයුතු කරගෙන යනවා. දිනලා ආවම ඒ ගැන තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඇත්තටම කොළොන්නාවේ දැන් කුඩු ව්‍යාපාරය නෑ. තුරන්වෙලා තියෙන්නේ.



වගකීමෙන්ද කියන්නේ?
මං නම් හිතන්නේ කුඩු නෑ.



එතකොට මේ සන්ධානයෙන්ම ඡන්දෙට එන හිරුණිකා කුඩු නිසා කොළොන්නාව ඉවරයි කියන්නේ බොරුවටද?
ඒ කාලෙත් ඒ ප්‍රශ්නෙ තිබ්බා වෙන්න ඕන. මං හිතන්නේ තියෙන්න ඇති. හිරුණිකා එක්ක නම් මගෙ කිසිම තරහක් නෑ. ඇත්තටම මං හිරුණිකාට ආදරෙයි.



මාව දේශපාලනයට ගෙනාවෙ දුමින්ද සිල්වා: ඒත් කොළොන්නාවෙ කුඩුවලට මම අත තියනවා - ජින්ජර් වයිට්


අහසින් කඩාගෙන වැටුණා වගේ එකපාරටම කොහොමද මේකට කඩා පාත් වුණේ?
එහෙම කියන්න එපා. මම හැම මැතිවරණ වේදිකාවකටම ගොඩ වෙච්ච කෙනෙක්. ඇත්තටම මම ආශික් වගේ තමයි. ඇයි මාව නග්ගන්නේ. ඒගොල්ලෝ දන්නවා මට ඡන්දයක් ගන්න පුළුවන් කියලා. අනිත් එක මට බය නැතිව කියන්න පුළුවන් අද වෙනකල් මං නැගපු කිසිම වේදිකාවක කවුරුත් පැරැදිලා නෑ.


ජින්ජර්ගේ පරමාදර්ශී දේශපාලන චරිතය කවුද?
ආර්. දුමින්ද සිල්වා.



දේශපාලනය කරන්න කතා කරපු නිසාද?
අනේ නෑ. මම 2004 ඉඳලා එතුමගේ ස්ටේජ්වලට නැග්ග කෙනෙක්. පුද්ගලයෙක් විදියට ගත්තොත් මිනිස්සුන්ට උදව් කරන එකමයි කරන්නෙ. ඒ වගේ හොඳ කෙනෙක් පහළ වෙන්න හුඟක් කල් යනවා.



හොඳයිද නරකයිද කියන්න අපි නම් දන්නෙ නෑ. හැබැයි ඔහු මිනීමැරුම් චෝදනා තියෙන, අත්වල ලේ ගා ගත්තු කෙනෙක්. කොහොමද ඔච්චර ලොකු සහතිකයක් දෙන්නෙ.?
ඒක ගැන නම් දැන්මම කතා කරන්න මං කැමැති නෑ. මොකද වරදකරු කියලා තාම ඔප්පු වෙලා නෑනේ. මට ආදර්ශයක් ගන්න පුළුවන් තැනක් විතරයි කිව්වෙ.



අපකීර්තියට ලක්වුණු දේශපාලන චරිතයක් පස්සෙ ගිහින් දිනන්න පුළුවන් වෙයි කියල ෂුවර්ද?
අපිට ඒකත් බලාගන්න පුළුවන්නේ මේ මැතිවරණයෙන්. මාව ගත්තත් මං ගැන එක එක තක්සේරු තියෙනවානේ. අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ.



කැම්පේන් එකට සල්ලි විසි කරන්නේ ඔහුද?
අපෝ නෑ. මං කිව්වනේ මං මිනිස්සු අතර ගැවසෙන චරිතයක්. මං නිකං සයුරක් වගේ. මං මේ ලංකාවෙ හතර කොණටම ගිහින් තියෙනවා. යාපනෙන් පවා කෝල් කරලා අහන්නේ ජින්ජර් අපෙන් මොකද වෙන්න ඕනෙ කියලා.



කොළොන්නාව ආසනේට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද ජින්ජර්
බොරු කියන්නෙ මොකටද හැමෝම කියන්නෙ කුඩු ප්‍රශ්නයක් තියෙනවා කියලනේ. ඒකනේ ඔයා කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ විතරක් නෙවෙයි ඉතින් කොළොන්නාවෙ තියෙන්නෙ?



මං ඇහුවේ ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා?
ඊට වඩා මිනිස්සුන්ට කොච්චර ඕනෑ එපාකම් තියෙනවද? මට පටන් ගන්න පුළුවන් තැන්වලින් මං පටන් ගන්නවා.



කුඩු සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නෙ නැත්තෙ බයයිද?
අනිවාර්යයෙන්ම මං ඒ පැත්තටත් අත තියනවා. කොළොන්නාවේ ජනතාව මට තාම ඇසුරු කරන්න ලැබිලා නෑ. මං ඇවිල්ලා සුපර්මෑන් නෙවෙයිනේ. පුළුවන් විදියට හැමෝගෙම ප්‍රශ්නවලට උත්තර දෙනවා.



කෙළින්ම කියන්න කුඩු නැතිකරන්න පුළුවන්ද? බැරිද?
නැති කරලා දාන්න පුළුවන් නම් ඇයි අපි බලාගෙන ඉන්නේ?

No comments:

Post a Comment