Friday, September 12, 2014

ඌව ඡන්දෙට හමුදා සංදර්ශන – පාසැල් වැසීමට ගුරුදෙගරුන් එරෙහි වෙයි

යුද හමුදා සංදර්ශනයක් පැවැත්වීම සදහා මොනරාගලට පැමිණෙන හමුදා සෙබළුන්ට නවාතැන් පහසුකම් සැපයීම සදහා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පාසැල් රැසක් වසා වසා දැමීමට බලධාරීන් ගෙන ඇති තීරණයට
දෙමව්පියන්ගේ සහ ගුරුභවතුන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතින බව අපේ මොනරාගල වාර්තාකරුවෝ පවසති.
මොනරාගල මහානාම ජාතික පාසැල, එහි ප්‍රාථමික පාසැල, රාජකීය විද්‍යාලය යන දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසැල් ඒ අතර වේ.මෙම පාසැල් සියල්ල සැප්තැම්බර් 04 වන දින සිට 11 දින දක්වා වසා තැබීමට කටයුතු යොදා තිබේ.ඒ අද(8) සිට 10 දින දක්වා ඌව පළාත් සභා මැතිවරනය ඉලක්ක කොට පැවැත්වෙන හමුදා සංදර්ශනය වෙනුවෙනි.
තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාකරමින් දේශපාලන කටයුතු සදහා පාසැල් පරිශ්‍රයන් ලබා දීමට බලධාරීන් කටයුතු කිරීම ගැන විරෝධය පළකරන ගුරුවරුන් සහ දෙමාපියන් පවසන්නේ යමුදා සංදර්ශනයක්පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සදහා පාසැල් නිවාඩු කාලය යොදාගැනීම ගැන තමන්ගේ විරෝධයක් නොමැති බවය.
මෙවැනි හමුදා සංදර්ශනයක් මොනරාගල දිස්ත්‍රික්කයේ මේ මොහොතෙහි පැවැත්වීමට අදාළ අංශ කටයුතු කර ඇත්තේ දේශපාලන උවමනාවක් මත බව පවසන ගුරුවරු සහ දෙමාපියෝ මෙවැනි පහත් දේශපාලන ක්‍රියා මගින් සිදුවන්නේ බලධාරීන්ගේම ඡන්ද පදනම විනාශ වීම බව පවසති.
වෙනත් ප්‍රදේශවල මෙම හමුදා සංදර්ශනය මීට පෙර ද සංවිධානය කර තිබූ අතර හමුදාව එවැනි සංදර්ශන සංවිධානය කරන ලද්දේ යුද ජයග්‍රහණය සැමැරීම වැනි නිශ්චිත දිනෙකය. එසේම සංදර්ශනය නැරැඹීමට ද මුදල් අයකර ය. මොනරාගල පවත්වන සංදර්ශනයෙහි විශේෂිතත්වය වනුයේ හමුදා සෙබළුන් 2000ක් පමණ යොදා ගෙන සංදර්ශනය පැවැත්වූවත් සංදර්ශන භූමියට ඇතුල්වීම සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීමයි.

No comments:

Post a Comment