Thursday, August 21, 2014

තවත් ප්‍රංශ කතකට අනුරාධපුරේදී අතවර කල හැටි.

අනුරාධපුර නගරයේ මහා වීදියේ පොලිස්‌ ස්‌ථානයට නුදුරින් පිහිටි සුපිරි වෙළෙඳ සලක්‌ අසලදී පෙරේදා (19 දා) රාත්‍රි ප්‍රංශ ජාතික පුද්ගලයකුට සහ කාන්තාවන් දෙදෙනකුට පහරදී එක්‌ කාන්තාවකට අතවර කොට ඔවුන් සතුව තිබූ මුදල් සහ දේපළ කොල්ලකා පලා යාමට තැත් කළ පුද්ගලයකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (19 දා) රාත්‍රි 11.30 ට පමණ එම විදේශිකයින් තිදෙනා නගරයේ සංචාරය නිම කොට සිය නවාතැන් පළ වෙත පයින් ගමන් කරන අතරතුරදී යතුරුපැදියකින් පැමිණ ඇති කොල්ලකරු ඔවුන් සතු මුදල් සහ වටිනා දේපළ කොල්ලකෑමට තැත්කර තිබේ.

එම අවස්‌ථාවේ විදේශිකයන් තිදෙනා සහ කොල්ලකරු අතර පොර බැදීමක්‌ සිදුවී ඇති අතර එහිදී කොල්ලකරු විදේශිකයන්ට පහරදී එක්‌ විදේශීය කාන්තාවකට අතවර සිදුකොට ඇතැයි පැවසේ.

එම සිද්ධිය දුටු පුද්ගලයකු විසින් මේ බව පොලිස්‌ මූලස්‌ථානයේ හදිසි ඇමතුම් ඒකකයේ දුරකථන අංක 119 ට දැනුම් දීමෙන් පසු අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ වහා එහි පැමිණීමත් සමග සිය ප්‍රයත්නය අත්හරිනු ලැබූ කොල්ලකරු යතුරුපැදියෙන් පලා ගොස්‌ ඇත.
ඔහු ලුහුබැඳ ගොස්‌ ඇති පොලිස්‌ නිලධාරීන් අනුරාධපුර නගරයේ මිහිඳුපුර ගම්මානය අසලදී කොල්ලකරු සහ ඔහුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මිහිඳුපුර ගම්මානයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

No comments:

Post a Comment