Thursday, August 21, 2014

කොමිෂන් සභා දාහතයි, වියදම කෝටි විසි හතයි

2005 වසරේ සිට 2013 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභා ගණන දාහතකි.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙළි වුයේ එම කොමිෂන් සභා වෙනුවෙන්
දරා ඇති වියදම රුපියල් කෝටි විසිහතක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කොමිෂන් සභාවලින් ජනතාවට හෝ රටට ප්‍රයෝජනයක් සිදු වී නැති බවයි.
ජනාධිපතිවරයා විසින් තමන්ට තොරතුරු දැන ගැනීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළත් ඒ සඳහා වැය වන්නේ ජනතා මුදල් බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි ‘ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය පවසන්නේ.
ඉදිරිපත් නොවන වාර්තා
මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දක්වමින් ‘ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනයේ ශාන් විජේතුංග කියා සිටියේ ජනාධිපති කොමිෂන් සභා වලින් ඉදිරිපත් වන වාර්තා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඉදිරිපත් නොවීම ගැටළුවක් බවයි.

මත භේදයට තුඩු දෙන සිදුවීම් යටපත් කිරීමට මෙවලමක් ලෙස මෙම කොමිෂන් සභා පත් කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වීමට හේතු වශයෙන් වාර්තා ඉදිරිපත් නොවීම සහ වැරදි කරුවන්ට දඬුවම් නොදීම බලපෑ හැකි බවයි ශාන් විජේතුංග පවසන්නේ.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් සිදු වන සෑම අවස්ථාවකම ආණ්ඩුවෙන් ගන්නා පියවර වන්නේ ජනාධිපති කොමිසමක් පත් කිරීම බවයි.
පාර්ලිමේන්තුව
කොමිෂන් සභාවල වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඇතැම් කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ යම් ප්‍රශ්නයක් මතු වන අවස්ථාවක දී එය යටපත් කර ගැනීමට මෙලෙස ආණ්ඩුව කොමිෂන් සභා පිහිටුවා ජනතා මුදල් නාස්ති කරන බවයි.
bbc

No comments:

Post a Comment