Wednesday, February 19, 2014

මං සුදනා රෙදි ලිහාගනී

UdayaG
‘පත්තිනි අම්මගෙ රෙද්දෙ තුත්තිරි’ යැයි ගමේ ගොඩේ අය කියන්නේ, ‘මං සුදනන් හෝ සුදනියන්ගේ’ හුරස් පරස් හෙළි වූ වෙලාවටය.
ඒ වගේ, පහුගිය දවස්වල සුදෝසුදු පිරුවටයක් ප්‍රදර්ශනය කොට නොමිලේම ලොකු ප්‍රචාරක වාසියක් ලබාගත් උදය ගම්මන්පිල මහත්තයා ඒ ඇදුම ඇදගෙන ‍එළියට බැහැපු දවසේම තඩි කහට පැල්ලමක් ඇති කර ගත්තේය.
ඒ, තම මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භ අවස්ථාවට, ‘රජයේ නිලධාරියකු’ වන ආරක්ෂක ලේකම්වරයා සහභාගී කරවාගෙන තමන් මැතිවරණ නීතිය තඹේකට මායිම් නොකරන බවත්, රජ පවුලේ හයිය තමන්ටත් ඇති බවත්  ප්‍රදර්ශනය කිරීමෙනි.
අවාසනාවක මහත! මැතිවරණ අපේක්ෂක සුදු පිරුවටය කිළිටි කරගත්තා මදිවාට ඔහු ඒපැලලම හෝදන්නට ගොස් තම නීතිඥ කළු කෝට් එකේද තඩි පැල්ලමක් හදාගෙන තිබේ.
ඒ, රාවය පුවත්පතෙන් මේ පැල්ලම ගැන විමසූ විට, අමාත්‍යාංශ‍ ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරී තනතුරක් පමණක් බවත්, ඒ නිසා ගෝඨාභය මහතාට දේශපාලන කටයුතු වලට සහභාගී වීමට කිසිදු බාධාවක් නැති බවත් කීමෙනි. මෙවර පමණක් නොව ගිය වරද එතුමා තම මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් බව ද ඔහු පවසා ඇත.
තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සදහා අනිත් අය මෙන් ව්‍යාපාරිකයන්ගෙන් සලිලි ගන්නේ නැති බවත්, නැවත හම්බකරගන්නට සිදුවෙන නිසා තමන්ගේ පුද්ගලික ධනයද හොල්ලන්නේ නැති බවත් කියමින් රුපියල් සීය බැගින් ආධාර ඉල්ලූ විට ‘අනේ අපොයි’ කියා සාක්කුවලට අත දැමූ උදවිය දැන් සාක්කුවල ජිල් බෝල සොයනවා විය යුතුය.

No comments:

Post a Comment