Wednesday, April 23, 2014

චම්පික, මහින්දගේ සංවර්ධනය දෙකට දමයි

champika-ranawaka-1913
ඊයේ (22) ජාතික විද්‍යා පදනමේ පැවති ලෝක මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා එක් වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ රටට දැන් අවශ්‍ය වන්නේ වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ගවලට වඩා ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

1970 වර්ෂයේ සිට සෑම වර්ෂයකම මිහිකත දිනය ලෝකය පුරා සමරනු ලැබීය. 44 වන ලෝක මිහිතල දිනය මෙවර යෙදී තිඛෙන අතර, එය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයක් මත විශේෂ වැඩසටහනක් ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරනු ලැබීය.
වර්ෂ 1970 දී ප්‍රථම වරට මිහිකත දිනය සමරනු ලැබුවේ එක්සත් ජනපදයේය. එය සංවිධාන කරනු ලැබුවේ තරුණ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩෙනිස් හේස් විසිනි. එවකට එක්සත් ජනපදයේ සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ (විස්කොන්සින්) ගේලෝඩ් නෙල්සන් හා පීට් මැක්ලොස්කි (කොංග්‍රස් මන්ත්‍රී) විසින් ඒ සඳහා පිටුබලය ලබාදුනි. එක්සත් ජනපදයේ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට මිලියන 20 ක් පමණ ජනයා එක් රොක් වී ජලය හා වායුව දූෂණයවීම, ජීවීන් වඳවී යෑම පිළිබඳව, තෙල් කාන්දුවීම්වලට, දූෂිත කර්මාන්තශාලාවලට, දූෂිත විදුලිබලාගාරවලට, කැලි කසල කඳුවලට, කෘෂි රසායනිකවලට හා පරිසර පද්ධති වනසන අධිවේගී මාර්ගවලට සිය විරෝධය පළ කළහ.
නිකුත් වී ඇති විද්වත් (IPCC) වාර්තාව අනුව ගෝලීය උණුසුම 20ක‍ වැඩිවීම වැළැක්විය නොහැකි තත්ත්වයක් වෙමින් පවතින බවත්, 2030 ට පෙර ඉන්ධන භාවිතය අඩු තරමින් 35% කින් වත් කප්පාදු නොකළහොත් නියඟය, ගංවතුර, සාගර ජලය ආම්ලිකවීම, සාගර ජලය ගොඩබිමට ගැලීම, සුලිකුණාටු, කොරල්පර හා ජීවීන් වඳවීම ඇතුළු භයානක පරිසර විනාශයන් සිදුවිමට නියමිත බව විද්වතුන් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවර මිහිකත දිනයේ තේමාව ''තිරසර නගර ගොඩනැංවීම'' වුවත්, ඉදිරි දශකයේ මාරකය වන්නේ ඉන්ධන නොව ජලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂි රසායන හා කර්මාන්ත අපද්‍රව්‍ය මගින් ජලය දූෂණයවීම, මෝසම් වැසි අවුල්වීම, නියඟය හා ගංවතුර ඇතිවීම ආදිය නිසා බීමට ජලය, ගොවිතැනට ජලය හා බලශක්තියට ජලය අර්බුදයක් වනු ඇති බවත්, සාගර ජලය රටතුළට පැමිණීමෙන් සාගර ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා සාගර සත්ත්වයන් හා කොරල් මරණයට පත්වීමෙන් අර්බුදයක් පැන නගින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලෝකයේ එක්තරා කාලයක කාර්මීකරණයට, දියුණුව සංවර්ධනය යැයි හඳුනාගන්නාදේට මනුෂ්‍ය ජීවිත විශ්මය ජනක ලෙස වෙනස් කරන්න පුළුවන් යැයි විශ්වාසයක් පැවතිණ. පළමු යුරෝපා යුද්ධයෙන් හා දෙවන බටහිර ලෝක යුද්ධයෙන් විද්‍යාවේ තාක්ෂණයේ, රසායනික ක්ෂේත්‍රයේ, පණිවිඩ සන්නිවේදන ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඇති විය. මෙම දියුණුව හා සංවර්ධනය හඹා යාම අපේ රටවලත් ප්‍රධාන විශ්වාසය විය. මෙම කඩිනම් සංවර්ධනය හා දියුණුව හඹායාමෙන් අද ලොව බොහෝ රටවලට විවිධ ප්‍රශ්නවලට මුහුණ සිදුව තිබේ. එහි ප්‍රතිවිපාක අද මානව වර්ගයාගේ පැවැත්මට ප්‍රබල අභියෝගයක් වී තිඛෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මතුවී තිඛෙන ගැටළු පිළිබඳව විද්‍යාඥයන් මගින් රජය දැනුවත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටත් සංවර්ධනයේ, විද්‍යාවේ, අනාගත ප්‍රමුඛතාවන් මොණවාද යන්නත් රටට පෙන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්. එල්. සුමතිපාල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති මහාචාර්ය ඕ.කේ. දිසානායක, පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිළධාරීන්, ගුරුවරුන් හා පාසල් ශිෂ්‍යයන් රැසක් සහභාගී වූහ.

No comments:

Post a Comment